පුද්ගලික රෝහල්වල කොවිඩ් ප්‍රතිකාර කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලීමක්…

කොවිඩ් රෝගීන් සඳහා එම රෝගීන් කැමතිනම් පුද්ගලික රෝහල්වල ප්‍රතිකාර කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස වෛද්‍ය විශේෂඥයින් ඉල්ලීමක් කර තිබෙන බව වාර්තාවේ.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සමග ඊයේ (03) පැවති හමුවකදී වෛද්‍ය විශේෂඥයින්ගේ ඉහළ පෙළේ නියෝජිතයින් පිරිසක් එම ඉල්ලීම කර තිබේ.

විශේෂඥ වෛද්‍ය මයියා ගුණසේකර, මහාචාර්ය අර්ජුන ද සිල්වා, මහාචාර්ය හේමන්ත දොඩම්පහළ, මහාචාර්ය ප්‍රසාද් කටුලන්ද, සහ විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ එම හමුව සඳහා එක්වී තිබේ.

පුද්ගලික අංශයේ ප්‍රතිකාර ලබාගැනීමට ආසාදිත පුද්ගලයින් කැමතිනම් ඔවුන්ට ඒ සඳහා අවස්ථාව ලබාදිය යුතු බව ඔවුන් පෙන්වා දෙයි.

එමගින් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඇති තදබදය අඩු කරගත හැකි බවත් ඒ ඔස්සේ අඩු ආදායම්ලාභී ආසාදිතයින්ට අවස්ථාව ලැබෙන බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ පිළිබඳව කොවිඩ් මර්දන කාර්ය සාධන බළකායට, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ අනෙකුත් බලධාරීන්ට දැනුම් දී තීරණයක් ගන්නා බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා තිබේ.

Recommended For You

About the Author: Jayani