කොළඹට කුරුළු උද්‍යානයක්….

ඊයේ (28) දින නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ අතින් කොළඹ කුරුළු උද්‍යානයේ (Colombo Bird Park) වැඩ කටයුතු මාදිවෙලින් ආරම්භ කොට තිබෙන බව වාර්තා වේ.

අතිගරු ජනාධිපතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය හා රජයේ සංවර්ධන සැලැස්මට අනුව කොළඹ නගරය සහ ඒ අවට ප්‍රදේශ අද වන විට ඉහළ සංචාරක ආකර්ෂණය සහිත ප්‍රදේශයක් බවට පරිවර්තනය වෙමින් පවතී.

ඒ අතරේ තෙත් බිම් උද්‍යාන, නාගරික වන උයන් සහ නාගරික කෘෂි උද්‍යාන ඇතුළු දේශීය හා විදේශීය සංචාරකයින් කොළඹ නගරයට ආකර්ෂණය කර ගැනීමේ ව්‍යාපෘති රැසක් නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය හා නාගරික සංවර්ධන අධිකාරිය එක්ව සැලසුම් කර ඉදිකිරීම් ආරම්භ කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

එහි එක් පියවරක් ලෙස කොළඹ කුරුළු උද්‍යානය සංවර්ධන ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

එමගින් ශ්‍රී ලාංකිකයින් හට නවතම සංචාරක අත්දැකීමක් ලබාදීම හා විදේශීය සංචාරකයින් මෙරටට ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය සැලසුම් කර ඇත.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව ඉදිකෙරෙන කුරුළු උද්‍යානයට මුල්ගල තැබීම (28) වන දින නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මෙම ව්‍යාපෘතිය සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සතුව මාදිවෙල පිහිටි අක්කර 39 ක පමණ විශාලත්වයකින් යුත් වගුරු බිමක් යොදා ගැනීමට නියමිතය.

මෙම තෙත් බිම අද වන විට විශාල තර්ජනයකට හා විනාශයට ලක්වී ඇත. ඒ මෙම වගුරු බිම අවට ඇතැම් පදිංචිකරුවන් විසින් අනවසරයෙන් අත්පත් කරගැනීම්, අපද්‍රව්‍ය බැහැර කිරීම්, තෙත් බිම හරහා ගලා බසින ඇළ මාර්ගයන් වෙත මල අපවහන පද්ධති සම්බන්ධ කිරීම හා අනවසර ලෙස ගොඩ කිරීම් හේතුවෙනි.

එබැවින් මෙම තෙත් බිම සුරැකීමට හා දියවන්නා ඔය සමඟ සෘජුව සම්බන්ධ වන මෙම තෙත් බිම හරහා ගලා බසින ඇළ මාර්ග පවිත්‍රව තබා ගැනීමේ අරමුණින් කොළඹ කුරුළු උද්‍යාන ව්‍යාපෘතිය මාදිවෙල තෙත් බිම කේන්ද්‍ර කරගනිමින් මෙසේ ඉදිකෙරේ.

කොළඹ කුරුළු උද්‍යානය ලොව සංචාරක ආකර්ෂණය කොළඹ නගරයට යොමු කරගැනීමේ ඉතා වැදගත් කේන්ද්‍රස්ථානයක් බවට වසර 2025 වන විට පත් කිරීම නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රධාන අරමුණයි.

මෙම අවස්ථාවට නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැඩගොඩ, හිටපු බස්නාහිර පළාත් සභා අමාත්‍ය උපාලි කොඩිකාර, මහරගම හිටපු නගරාධිපති කාන්ති කොඩිකාර, කොළඹ බර්ඩ් පාක් පෞද්ගලික ආයතනයේ විධායක අධ්‍යක්ෂ අජිත් ගාල්ලගේ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වී සිටි.

Recommended For You

About the Author: Jayani