මානසික සෞඛ්‍ය සඳහා ආයෝජනය කිරීමට ආරාධනා කරන ලොව පළමු 24 පැය අතත්‍ය (virtual) පාගමන සඳහා ශ්‍රී ලංකාව ද එක් වෙයි.


2020 ඔක්තෝබර් 07 ¦ කොළඹ – මෙවර ලෝක මානසික සෞඛ්‍ය දිනය (ඔක්තෝබර් 10) වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය සේවාලාභීන්ගේ ක්‍රියාකාරී ජාලය (CAN MH Lanka), ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය සමග එක්ව, මානසික සෞඛ්‍ය සඳහා ආයෝජනය කිරීමට ආරාධනා කරන ලොව පළමු 24 පැය අතත්‍ය (virtual) පාගමන සඳහා එක් වෙයි.
ලොව පුරා බිලියනයකට ආසන්න පිරිසක් මනෝ සමාජීය ආබාධ වලින් පෙළෙන අතර ලෝකයේ ඕනෑම ප්‍රදේශයක ඕනෑම පුද්ගලයෙක් කිසියම් අවස්ථාවක මනෝ සමාජීය ආබාධයක ගොදුරක් විය හැකිය. කිසියම් බරපතළ මානසික රෝගයකින් පෙළන පුද්ගලයකුගේ ආයු කාලය අන් අයට වඩා වසර 10-20 අතර ප්‍රමාණයකින් අඩු වේ. සිය දිවි නසා ගැනීම් නිසා ලොව පුරා වසරකට පුද්ගලයන් ලක්ෂ 8 ක් පමණ මියයයි. එනම් සෑම තත්පර 40 කටම වරක් එක් පුද්ගල ජීවිතයක් අහිමි වෙයි. වයස අවුරුදු 15 ත් 29 ත් අතර පුද්ගලයන්ගේ මරණ වලට බලපාන දෙවන හේතුව වන්නේ සිය දිවි නසා ගැනීම් ය.
සෑම වසරකම ශ්‍රී ලංකාවේ පුද්ගලයන් ලක්ෂයකට 16 දෙනෙකු පමණ සිය දිවි නසා ගනියි. එයින් බහුතරය වයස අවුරුදු 15 ත් 44 ත් අතර පුද්ගලයන් ය. මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි හේතුවෙන් වසරකට පුද්ගලයන් ලක්ෂයක් පමණ බන්ධනාගාරගත කරන අතර තවත් 3000 ක් පමණ ඒ ආශ්‍රිත රෝග හේතුවෙන් ප්‍රතිකාර ලබා ගනිති. පසුගිය වසරේ දී ළමා අපයෝජන ආශ්‍රිත පැමිණිලි 8000 කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇත.
මෙවැනි අසීමාන්තික ලෙස වැඩි වන මානසික සෞඛ්‍ය අවශ්‍යතා සහ COVID-19 මගින් ඇති කරන අමතර මානසික පීඩනය හේතුවෙන් දැනටමත් අවම ආයෝජන සහ අවම සම්පත් සහිතව ක්‍රියාත්මක වන මානසික සෞඛ්‍ය සේවා ප්‍රමාණවත් නොවීමේ ගැටලුවකට අප මුහුණ දෙමින් සිටිමු. එබැවින් ලෝකයේ රටවල් 19 ක දායකත්වයෙන් පළමු වරට පැවැත්වෙන 24 පැය අතත්‍ය (virtual) පා ගමනට එක් වන ලෙස අප ශ්‍රී ලාංකික ජනතාවට ආරාධනා කර සිටිමු. ඔක්තෝබර් මස 09 වන දින පෙ.ව. 11.30 සිට 12.30 දක්වා ෆේස්බුක් ඔස්සේ සජීවීව ප්‍රචාරය කරනු ලබන මෙම පාගමන සඳහා සම්පත් දායකත්වයෙන් සම්මානලාභි ප්‍රවීණ රංගන ශිල්පිනී සංගීතා විරරත්න මහත්මිය, කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය අමලා ද සිල්වා මහත්මිය සමග මානසික සෞඛ්‍ය සේවාලාභිනියක සහ ව්‍යවසායිකාවක වන ඩිලානි ද සිල්වා රණසිංහ මහත්මිය දායක වීමට නියමිතය.
සෞඛ්‍ය ආරක්ෂාව ප්‍රධාන කොටස් හතරකින් සමන්විත ය. එනම් සෞඛ්‍ය ප්‍රවර්ධනය, රෝග වැලැක්වීම, ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය හෝ පශ්චාත් ප්‍රතිකාර වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීමයි. ශ්‍රී ලංකාව ද ඇතුළුව ලොව බොහෝ රටවල් මානසික සෞඛ්‍ය වියදම් වලින් 80% ක් වැය කරන්නේ මානසික රෝග වලට ප්‍රතිකාර කිරීමට ය. එපමණක් නොව සාර්ථක මානසික ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව තිබුණ ද සමාජ අපවාදය හේතුවෙන් බොහෝ දෙනා ප්‍රතිකාර වෙත යොමු වීමට මැලි කමක් දක්වති. එබැවින් මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය, මානසික රෝග වැළැක්වීම සහ පුනරුත්ථාපනය ඇතුළු පශ්චාත් ප්‍රතිකාර වැඩ කටයුතු සඳහා ද ප්‍රමුඛතාවයක් ලබා දීම අවශ්‍ය වේ. විශේෂයෙන්ම තරුණ, අධ්‍යාපන, සමාජ සේවා, ආර්ථික සහ රාජ්‍ය පරිපාලන අංශ වල මෙන්ම සමාගම් සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ද අවධානය මානසික සෞඛ්‍යය සඳහා ආයෝජනය කිරීම කෙරෙහි යොමු කරන මෙන් අප ඉල්ලා සිටිමු.
ප්‍රජාවට විවිධ ආකාර වලින් මේ සඳහා දායක විය හැකිය.
● පා ගමන වෙනුවෙන් ක්‍රියාත්මක වෙබ් අඩවියේ Sign up වීම මගින් සමස්ත වැඩසටහන පිළිබඳ තොරතුරු ලබා ගත හැකිය. (http://marchformentalhealth.com)
● ෆේස්බුක් ඉවෙන්ට් එකට සම්බන්ධ වීම (RSVP) මගින් (https://bit.ly/2ZZTsY7)
● Instagram සහ Facebook ඔස්සේ AR filter සහ Facebook Frames යොදා ගැනීම මගින්
● Instagram Stickers මගින් (“Speak Your Mind” Stickers, Instagram GIF මෙනුවෙන් ලබා ගත හැකිය)

CAN MH Lanka, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය සමග එක්ව, අපගේ මානසික සෞඛ්‍යය පිළිබඳ කතිකාවට එක් වන මෙන් සියලු ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කර සිටියි. අන් කවර දාටත් වඩා මේ මානසික සෞඛ්‍යය කෙරෙහි ආයෝජනය කිරීමට කාලයයි.


Recommended For You

About the Author: Editor